කොරෝනා වසංගතයක් වුවද එය එක් පැත්තකින් අපේ රටට පැමිණි වෙස්වළාගත් ආශීර්වාදයක්ද විය. ඊට හේතු වන්නේ කොරෝනා වසංගතය නිසා රට අක්‍රියව පැවැති කාලයේ මෙරට නව නිපැයුම්කරුවන් රැසක් බිහිවීමය.දක්ෂතා ඇතද ඉදිරියට පැමිණීමට නොහැකිව සිටි බොහෝ දෙනකු අතරේ නව නිපැයුම් බිහිවූයේ කොරෝනා සමයේ වීමද විශේෂත්වයති. මේ ආකාරයට බිහිවූ නව නිර්මාණ රැසක්ම ලංකාවේ පමණක් නොව ලෝකයේම පළමුවරට කවුරුත් නොකළ විධියට නව නිපැයුම් කිරීමට ලංකාවේ බොහෝ දෙනෙක් සමත් වූහ.ඖෂධීය මුහුණු ආවරණයක් නිපදවීමට ලංකාවේ අයෙක් සමත් වී තිබේ. ඔහු නමින් දේශබන්දු සමන් හෙට්ටිආරච්චිය. පිටකෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පිටකෝට්ටේ රජමහා විහාර ප්‍රදේශයේ පදිංචි ඔහු කුඩා කල සිටම ආසා කළේ නව නිපැයුම් නිර්මාණයන් කෙරෙහිය.

සමන් හෙට්ටිආරච්චි කළ නව නිපැයුම් රැසක්ම සාර්ථක වී ඇත. ඉන් 18ක් සඳහා ඔහුට පේටන් බලපත්‍ර තිබීමද විශේෂත්වයකි. තම ඇතැම් නිර්මාණ අසාර්ථක වුවත් ඔහු නොනැවතී ඉදිරියටම ගියේ සිතේ තිබූ ධෛර්යය නිසාමය. පාසලේ බාලදක්ෂ කණ්ඩායමෙන් ලද “ඕනෑම අභියෝගයක් බාධක මැද ජයගත හැකිය” යන පාඨයට හැමවිටම ගරු කරන සමන් ඒ පාඨය තම ජීවිතය ජය ගැනීමටද යොදා ගත්තේය.මීට මාස හයකට පෙර සිතට දැනුණු අදහසක් අනුව හෘද රෝග සඳහා දේශීය බෙහෙතක් හැදීමට වුවමනා විය. කළ යුත්තේ මෙයැයි කියා මුලින් අදහසක් නොවීය.
අවසානයේ එය මුහුණු ආවරණයක් සේ සමන් වෙතින් නිකුත්විය.හදිසියේම කොරෝනා වසංගතය පැමිණියේ ඔය අතරය. එවිට ඔහු සිය නිපැයුම තවත් වැඩි දියුණු කළේය.මේ ආකාරයට ඔහු නිපද වූ ඖෂධ ගුණ ඇති මුහුණු ආවරණය වෙනුවෙන් බෙහෙත් වර්ග 22ක් යොදාගෙන තිබේ. ඒවා මිශ්‍රකර පදම් කිරීමෙන් පසු මුහුණු ආවරණයන් නිපදවා තිබේ. දේවදාර, අගිල්, කොත්තමල්ලි, පාවට්ටා මුල්, පෙරුම්කායම් ආදී බෙහෙත් ඊට ඇතුළත්ය. මේවා පෙණහලු ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඔෟෂධය.

දේශීය ආයුර්වේදයේ සහ පාරම්පරික වෙදකමේ හෘද රෝග සඳහා භාවිත කෙරෙන ඖෂධ මීට එකතුකර ඇත. මෙම ඖෂධ මඟින් ශරීරයට ඇතුළුවෙන විසබීජ රෝග කාරක විනාශ කෙරෙයි.
මුහුණු ආවරණය නිෂ්පාදනය කළ පසු එය ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමට දැනුම්දීමට සමන් හෙට්ටිආරච්චි කටයුතු කළේය. ඉන්පසු ඔෟෂධ ගුණ ඇති මුහුණු ආවරණයට පේටන් බලපත්‍රය ලබා ගැනීමට සමන් කටයුතු කළේය. මේ අයුරින් ඖෂධය යොදා සැකැසූ මුහුණු ආවරණයක් මේ වන විට ලෝකයේ කිසිම තැනක නිපදවා නැත. නිපදවා ඇති එකම මුහුණු ආවරණය ඇත්තේ ලංකාවේ පමණි. මේ කාර්යයේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමන් හෙට්ටිආරච්චි මහතාට මහඟු සහායක් ලබා දී තිබේ.මේ කාර්යයේදී ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමද විශාල සහායක් ලබා දී ඇත. පේටන්ට් බලපත්‍රය ගැනීමේදී අවශ්‍ය මූල්‍ය ප්‍රදානයන්ද ලබා දී තිබීම විශේෂත්වයකි. මේ ආකාරයට නිපදවන ලද මුහුණු ආවරණ සෑම රාජ්‍ය අංශයකටම පාහේ නොමිලේ ලබා දීමට සමන් කටයුතු කර තිබීමද විශේෂයකි.මෙම ඖෂධ මුහුණු ආවරණය පැලඳ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී අදාළ ඔෟෂධ ශරීරගතව සෞඛ්‍යය යහපත් කරන බවට තොරතුරු තාක්ෂණ ආයතනය මඟින් තහවුරු කර තිබේ. ශරීර අභ්‍යන්තරයේ ඇති බැක්ටීරියා විනාශ කරන බවද සහතික කර තිබේ. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය මඟින්ද මෙම මුහුණු ආවරණය ගැන පරීක්ෂා කර තිබේ. එම ආයතනය මඟින් ලබා දී ඇති සහතිකයේ සඳහන් වන්නේ ඔවුන් මෙම මුහුණු ආවරණය කිහිප අවස්ථාවක්ම සෝදා පරීක්ෂා කර ඇති බවත් එසේ කිහිප සැරයක් එය සේදුවත් එහි ඇති ඖෂධ ගුණය නැති නොවන බවත්ය. එම වාර්තාවලට අනුව මෙම මුහුණු ආවරණය ඖෂධීය ගුණයෙන් යුක්තය.

මෙම මුහුණු ආවරණය සේදූ පසු මැදීම කළ යුතුය. ඒ මුහුණු ආවරණයට යොදා ඇති රෙද්ද හැකිළෙන හෙයිනි. එසේම මෙම මුහුණු ආවරණයට යොදන සමහර ඖෂධවල සුවඳ සැර ඒවා නිසා මීට යොදාගෙන ඇත්තේ බාලකරය.මුහුණු ආවරණය නිපදවීමේදී සමන් මේ දිනවල ඖෂධ වර්ග හිඟයකටද මුහුණ පා සිටියි. නමුත් ඔහු මහන්සියෙන් ඒවා සොයා ගනියි. ඔහුට මෙම මුහුණු ආවරණය නිපදවීමට රුපියල් 65-70ක මුදලක් වැයවෙයි. වෙළෙඳපොළේ මෙම මුඛ ආවරණය විකුණන්නේ රුපියල් 100කටය.මේ ආකාරයට නව නිපැයුම් රැසක් කර ඇති සමන් හෙට්ටිආරච්චි “දසිස්” සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. නව නිපැයුම්කරුවකුගේ එකම බලාපොරොත්තුව වන්නේ තම නිපැයුම් ඇගැයීමට ලක්ව “දසිස්” සම්මානය ලැබීමටය. සමන් හෙට්ටිආරච්චිට එම අවස්ථාව උදාවූයේ ඔහු තුළ තිබූ දක්ෂතාව නිසාමය.සමන් ළිං පිරිසුදු කිරීමට ඖෂධීය ක්‍රමයක්ද සොයා ගෙන ඇත. විශේෂයෙන්ම පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් නැතිව වකුගඩු රෝගයෙන් පීඩා විඳින රජරට ජනතාවට මෙම ක්‍රමය මහත් පිටිවහලක් වනු ඇත. මේ වන විට ඔහු සිය ඔෟෂධීය ක්‍රමය මඟින් ළිං 50ක් පිරිසුදු කර ඇත.

මෙම ක්‍රමය දිගටම කිරීමට සමන්ට හැකිවී නැත. පවතින ක්‍රමවේදයට බාධක පැමිණ ඇත. එක් ළිඳක් පිරිසුදු කර ගැනීමට වියදම් වෙන්නේ රු 10,000, 15,000ක් පමණි. තමන්ගේ තාක්ෂණ ක්‍රමවේදය නොමිලේම ලබා දීමට සමන් කැමැතිය. තම තමන්ගේ ගෙවත්තේ ඇති ළිං පිරිසුදු කරගැනීමට අවශ්‍ය අයට සමන්ගෙන් අදාළ ක්‍රමවේදය දැනගත හැකිය.ළිං පිරිසුදු කිරීමේදී පැරැණි ක්‍රමවේද යොදා ගැනේ. ළිදක් පිරිසුදු කිරීමට පෙර ළිඳේ ජල සාම්පල පරීක්ෂා කරගත යුතුය. ඉන්පසු ජලයේ ඇති රසායනික සහ අනෙකුත් බැර ලෝහ ඇත්නම් ඒවා විනාශ කිරීමට පියවර ගැනේ. අඟුරු, හුණුගල් ආදී දේ භාවිත කර ළිං පිරිසුදු කිරීමට සමන් පියවර ගෙන ඇත. ළිං පිරිසුදු කර නැවත ජලය පරීක්ෂා කළ පසු ජලයේ පිරිසුදු බව බලාගත හැකිය.දේශීය දේ අගේ නොකර විදේශයෙන් ගෙන්වන ෆිල්ටර් මඟින් ජලය පෙරා බිබී ඉන්නවා හැර අප අලුත් දෙයක් කිරීමට ඉදිරිපත් නොවීම කනගාටුදායකය. මේ ළිං පිරිසුදු කිරීමෙන් පසු ශ්‍රී ලංකා තාක්ෂණ ආයතනය මඟින්ද පරීක්ෂා කර බලා ජලය පිරිසුදු බවට වාර්තා ලබා දී තිබේ. මේ සියලු දේ මඟින් ජනතාවට හොඳක් වනවා නම් තමන් සතුටුවන බව සමන් හෙට්ටිආරච්චි පවසයි.

ශ්‍රී ලංකා නව නිපැයුම් ආයතනය මඟින් නව නිර්මාණකරුවන්ට අතහිත දීමේදී එහි අධ්‍යක්ෂවරයා මෙන්ම කාර්ය මණ්ඩලයද උපරිම සහායක් ලබා දුන් බව සමන් පවසයි.මෙම නිර්මාණවලට අමතරව සමන් නිපදවා ඇති නිර්මාණ අතර තේ දලු නෙළන කාන්තාවන් වෙනුවෙන් හැදූ අත් ආවරණය වැදගත් වෙයි. තේ දලු නෙළීමේදී තේ දල්ල නිසා එම කාන්තාවන්ගේ අතේ ඇඟිලිකරු තුවාල වී කුණු වෙයි. නමුත් සමන් නිපදවා ඇති අතේ ආවරණය පැලඳූ පසු එසේ නොවේ. මෙහිදී සිදුවන්නේ අදාළ අතේ ආවරණය දමා තේ දල්ල ඇල්ලූ විට දල්ල කැපී අතට ඒමය.මීට අමතරව පොරව, කැත්ත, මිටිය, පිහිය මඟින් දෙයක් කැපීමේදී වෙහෙස වෙනවාට වඩා පහසුවෙන් එම උපකරණවලින් ප්‍රයෝජනයක් ගතහැකි උපකරණයක් නිර්මාණය කර ඇත. මෙහිදී පිහිය, කැත්ත, පොරව එකම උපකරණයකට ගෙන ඉක්මනින් ක්‍රියාකරවීමට හැකි පරිදි නිපදවා තිබේ. මෙහිදී අතින් එම කාර්ය කරනවාට වඩා දස ගුණයක වේගයෙන් කාර්යක්ෂමව එය කිරීමේ හැකියාව තිබේ.එසේම කුණු ප්‍රතිචක්‍රීකරණයකොට ඊට යම් විශේෂිත ද්‍රව්‍යයක් යොදා මල් පෝච්චි තැනීමටද සමන්ට හැකිවී තිබේ. මෙම මල් පෝච්චියට ජලය දැමීමට අවශ්‍ය නැත. එහි පැළයක් සිටුවූ පසු එය පිටින්ම පොළොවේ හෝ වෙනත් මල් පෝච්චියක සිටුවීමේ හැකියාව ඇත. මේ සඳහාද පේටන්ට් බලපත්‍රය සමන් සතුය.

පොල් කැඩීමට සමන් විශේෂිත කෙක්කක්ද සාදා තිබේ. මෙම කෙක්ක පොල් වල්ලට දැමූවිට එහි රස්නය අනුව පොල් පැසී ඇද්ද කලටිද කියා කිව හැකිය. එහිදී බල්බයක් පත්තු වී අදාළ සංඥාව අපට ලැබේ. ඒ අනුව පැහුණු පොල් කැඩිය හැකිය.තේ ගසට යොදන පොහොර ජල පහරට ගසාගෙන යෑම ගැටලුවකි. මේ නිසා තේ ගසට පොහොර නිසිලෙස ලැබෙන්නේ නැත. ඊට පිළියමක් ලෙස ඔහු පොහොර කැටයක් ගසේ එල්ලා ටිකෙන් ටික ගසට වැටෙන විදිහට නිර්මාණය කර තිබේ.මේ හැර තවත් නිර්මාණ රැසක්ද සමන් කර ඇත. එම නිර්මාණ සියල්ලේම අයිතිය සමන් සතුය. ඒ සියල්ල සඳහාද පේටන්ට් බලපත්‍රය ලබා තිබීමද විශේෂත්වයකි. මේ අනුව සමන් හෙට්ටිආරච්චි අපේ රටේ සිටින තවත් දක්ෂ නව නිපැයුම්කරුවකු බව සනාථ කර ඇත.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here