කුලී මෝටර් රථයක නැඟී හලාවතට ගිය කොරෝනා ආසාදිත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයකට මෙන්ම තලාහේන ඇතුළු ප්‍රදේශ කිහිපයකටම ගිය බව එම කුලී රථ රියැදුරු හෙළිකර සිටී.
ඊයේ (20දා) පෙරවරුවේ අපට කතා කරමින් එම කුලී මෝටර් රථ රියැදුරු කියා සිටියේ මෙම වෛද්‍යවරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු මුණ ගැසී හලාවතට යෑම සඳහා තමාව දුරකථනය මඟින් සම්බන්ධ කරගත් බවයි.
එම කුලී රථ රියැදුරු එම සිද්ධිය විස්තර කළේ මේ අයුරිනි.

“මම කලක් හෝටලයක ටැක්සි ඩ්‍රැයිවර් කෙනෙක් ලෙස කටයුතු කළා. ඊට පස්සේ මම මෝටර් රථයක් ගෙන කුලී රථ රියැදුරකු ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. ඉකුත් 16 වැනිදා උදේ ගූගල් හරහා මගේ ටැක්සියට හයර් එකක් ආවා. තලාහේන ඉඳන් හලාවතට තමයි හයර් එක ආවේ.

මම තලාහේනට ගියාට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයයි, මේ දොස්තර නෝනයි මාත් එක්ක කතා කළේ මාස්ක් එකත් පහළට දාගෙන. තලාහේන ඉඳන් කඩුවෙලට යන අතර තුර ‍දොස්තර නෝනට කෝල් එකක් ආවා. එයා ඉංග්‍රීසියෙන් කතා කළේ. මටත් ඉංග්‍රීසි පුළුවන්. මම ටැක්සි රියැදුරෙක් වුණාට ඉංග්‍රීසිත් මම දන්නවා.
එයාට පොසිටිව් ද කියා දොස්තර නෝනා ඇහුවා.

මට ඒ කතා කරපු දේවල් තේරුණ නිසා මම දොස්තර නෝනගෙන් ඇහුවා කාටද පොසිටිව් කියලා. එතකොට එයා කීවා එයාගේ රෝගියෙක්ට කොරෝනා ආසාදිත වෙලා කියලා. මම කිව්වා දොස්තර නෝනා ඇයි මට කලින් නොකීවේ කියලා. එතකොට දොස්තර නෝනා කීවා, මම වෛද්‍යවරයෙක්. බය වෙන්න එපා කියලා. නෝනා වාහනේ හිටියේ මුඛ ආවරණය පහළට කරගෙන. කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට යන්න කලින් මම වාහනේ නැවැත්තුවා.
එයා කාටද කතා කරලා වාහනයක් ගෙන්න ගත්තා. පස්සේ මම දොස්තර නෝනගේ දුරකථනයට කතා කළා. හලාවත රෝහලටත් කතා කළා. දොස්තර නෝනටත් කරපු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඇයත් ආසාදිත බවට මට දැන ගන්න ලැබුණා. වෛද්‍යවරිය සමඟ හිටිය ක්‍රිකට් ක්‍රීඩකයටත් වයිරසය ආසාදනය වෙලා. මේ අය ඒ තොරතුරු නොකියා තමයි මගේ කුලී රථයේ ගියේ. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. එක දුවෙක් ආබාධිතයි.

ඒ දුව ආබාධිත වුණෙත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අත්වැරැද්දකින්. දැන් මම ගෙදර නොයා මුල්ලේරියාවේ අක්ක කෙනකුගේ ගෙදරකට වෙලා ඉන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මගේ තොරතුරු කිව්වා. ලබන අඟහරුවාදා මාව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන බව ඒ මහත්තයා කිව්වා. බලන්න වෛද්‍යවරු වුණත් මේ විදිහට හැසිරෙන කොට මේ වසංගතය පාලනය කරන්නේ කොහොමද? ඒකයි මම මේ සිද්ධිය පත්තරේට කිව්වේ.”

මව්බිම පුවත් පතින් උපුටාගෙන පළ කරන ලද්දකි.

 168 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here