පසුගියදා කාමාතුරයන්ගේ කුරිරුකම හේතුවෙන් අතිශය ඛේදනීය ලෙස ජීවිතය හැරදමා යන්නට සිදු වූ වතුකරයේ දැරියකගේ ශෝකාකලාපය සමාජයෙන් තවමත් ඉවත්ව ගොස් නැත. වතුකරයේ ජනතාව බැටකමින් සිටින ඉතිහාසගත හේතූන්ගේ දුක් අඳෝනාව අදට සමස්ත වතුකරය ‌වෙළා ගනිමින් සිටින්නේ එම ජනතාව දේශපාලනයේ ඉත්තන් බවට ද පත් කරමිනි. ඔවුන්ගේ ගැටලු‍වලට අදටත් විසඳුම් නැත.

විශ්වයටම පොදු සංගීතයේ රස මිහිර විඳීමට කැමති මිලියන 307 කට වඩා වැඩි ප්‍රේක්ෂකයන් අතිවිශාල පිරිසකගේ අවධානය දිනා ගත් “ එන්ජෝයි එන්ජාමි ”‍ (ENJOY ENJAMI) නැමැති ගීතය මේවන විට යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පෙරැළියක් අත්පත් කර ගෙන සිටින්නේය. දෙමළ පොප් ගීතයක් වන මින් කියැවෙන්නේ ලංකාවේ තේවතු කම්කරුවන්ගේ දුක්ඛිත ඉතිහාසය ගැන වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවෙකුගේ අරගලය සහ අපේක්ෂාවන් පිළිබඳ මිනිත්තු හතරහමාරක ගීතයක් වන “එන්ජෝයි එන්ජාමි” මෑතක දී නිකුත් කළ ඉන්දීය දමිළ මියුසික් වීඩියෝව අසාමාන්‍ය ලෙස ජනප්‍රියත්වයේ පසුබිම සැකසී ඇත්තේ ලංකාවෙනි. තේ වතු කම්කරුවෙකුගේ අභිලාෂයන් පිළිබඳ මූලික කර ගත් මෙම ගීතය ගායනා කරනුයේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දකුණු ඉන්දියානු පසුබිම් ගායිකා ධීක්ෂිතා වෙන්කටේෂන් නොහොත් ඩී සහ ගීත රචක අරිවු විසිනි.

මෙම ගීතය මාර්තු 7 වන දින නිකුත් කරන ලද අතර එය යූ ටියුබ් සහ වෙනත් මාර්ගගත මාධ්‍ය වේදිකාවල ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වූයේ නොසිතූ අන්දමිනි. එම ගීතය යූ ටියුබ් ඔස්සේ එළිදැක්වූ පළමු සතිය තුළ එය මිලියන 20 ක ජනතාවක් නරඹා ඇති අතර මේ වන විට එය මිලියන 307 ද ඉක්මවා ඇත. එය එලෙස අතිශය ජනප්‍රියත්වයක් ලබා ගත් චිත්‍රපට නොවන පළමු දෙමළ ගීතය ද වන්නේය.
“එන්ජෝයි එන්ජාමි” යනු සමකාලීන ජනප්‍රිය සංගීතයේ දුර්ලභ ප්‍රපංචයක් වන අතර එය පැහැදිලිවම ගෝලීය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වී හමාරය.මෙම ගීතය සැබෑ ජීවිතයෙන් උකහා ගත් අතර සොබා දහමට අනුකූලව ජීවත් වීමට මානව වර්ගයාගෙන් ඉල්ලා සිටින්නකි.

ජාතිවාදී රේඛා හරහා සියලු‍ දෙනාගේ එකමුතුකම උදෙසා දැඩි ලෙස ඉල්ලා සිටින “එන්ජෝයි එන්ජාමි” ගීතය ඔස්කාර් සම්මාන ලාභී ඉන්දියානු ස්වර රචක සහ සංගීතඥ ඒ.ආර්. රහ්මාන්ගේ ප්‍රාරම්භකත්වයෙන් බිහි වූ ස්වාධීන සංගීත ලේබලයක් වන මාජා යටතේ නිකුත් කෙරුණු ප්‍රථම සංගීත වීඩියෝවයි. රහ්මාන් මෙම ලේබලය දියත් කළේ ඉන්දියාවේ හා ඉන් ඔබ්බේ වාසය කරන ස්වාධීන කලාකරුවන් ප්‍රවර්ධනය කිරීමට හා ඔවුන්ට සහාය දීමටය.

ද්‍රවිඩ බසෙහි, ප්‍රමුඛ කොටම ශ්‍රී ලංකාවේ වතු වැවිලි කම්කරුවන් හා දකුණු ඉන්දියානුවන් විසින් වහරනු ලබන උප භාෂාවෙන්, ප්‍රාසාංගිකව ඉදිරිපත් කෙරෙන මෙම ගීතය අමිත් ක්‍රිෂ්නන්ගේ අධ්‍යක්ෂණයක් වන අතර එය නිෂ්පාදනය කර ඇත්තේ හා එහි ස්වර රචනය සිදු කොට ඇත්තේ සන්තෝෂ් නාරායනන්ය. ඉතා ඉහළ මට්ටමකින් සංකේතාත්මක වන ”‍එන්ජෝයි එන්ජාමි”‍හි දෘශ්‍ය පටය, ශ්‍රී ලංකාවේ වැවිලි වගා සම්බන්ධ අඳුරු හා සාරවත් හරිත වර්ණයෙන් යුත් චිත්‍රාගාර වේදිකාවේ මවන ලද දර්ශනවල සිට වඩාත් දීප්තිමත්, උණුසුම් තැඹිලි වර්ණයකින් යුත් දකුණු ඉන්දියාවේ වගා නොකළ මුඩු බිම් යායක දර්ශන කරා ද, පෙරළා අනෙක් අතට ද වශයෙන් යළි යළිත් මාරු වේ.

මේ ගීතය, පොප්, රැප් හා සම්භාව්‍ය ඉන්දියානු සංගීත ප්‍රභේද සමඟ සංයුක්ත කෙරුණු දමිළ ජන සංගීතයේ ද, අවමංගල්‍ය උත්සව හා පෙරහැර සඳහා භාවිත කෙරෙන පුරාතන සාම්ප්‍රදායික වැලපිලි ගී විශේෂයක් වන ඔප්පාරි ගීවල ද සංයෝගයකි. එය ආරම්භ කෙරෙන්නේ පූජාවිධිමය තාල වාද්‍ය භාණ්ඩයක් වූ පරයි පවුලේ බෙර වාදනයක වේගවත් රිද්මයන්ගෙනි.

ශ්‍රී ලංකාවේ වතු වැවිලි ප්‍රදේශ තුළ විවිධ උත්සව වලදී පරයි බෙර භාවිත කෙරේ. කෙසේ වෙතත් රටේ උතුරුකරයේ දී ද, දකුණු ඉන්දියාවේ දී ද ඉහළ කුලවල අයවලු‍න් ඒවායේ වාදකයන්ට පනවා ඇති කුල තහංචි හේතුවෙන් මෙම සංගීත භාණ්ඩ භාවිත කෙරෙන්නේ අවමංගල්‍යවල දී පමණකි. මෙහි අර්ථය වී ඇත්තේ මෙකී භාණ්ඩ කුඩම්මාගේ සැලකිල්ලට භාජනය වී ඇති බව සහ ප්‍රධාන ධාරාවේ සංගීතය තුළ තබා කවර හෝ ජනප්‍රිය සංගීත රීතීන් තුළ ඒවා භාවිතයට නොගන්නා ඒවා බවය.

සංකේතාත්මක පදවල සඳහන් වන්නේ අතීත පරම්පරාවේ කෘෂිකාර්මික කම්කරුවන්ගේ වේදනාව, ශ්‍රම පංතිය විසින් නිර්මාණය කරන ලද සමාජයේ ධනය අතළොස්සක් වන ධනපතියන්ගේ අවශ්‍යතා සපුරා ලීම සඳහා යොදා ගන්නා සමාජ ක්‍රමයක අරාජික ස්වභාවය අසන්නන් සංවේ දී කිරීමයි.
20 වැනි ශතවර්ෂයේ ඉන්දියානු උප මහාද්වීපයේ ඇති වූ ඛේදනීය සිදුවීම් හේතුවෙන් දෙමව්පියන් සහ මුත්තනු මිත්ණියන්ගේ බලපෑමට ලක්වූ දෙමළ වතු කම්කරුවන්ගේ ‌ඓතිහාසික අත්දැකීම් සහ ඊට සම්බන්ධ වූ ගායකයන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිත සමඟ “එන්ජෝමි එන්ජාමි” හි අසාමාන්‍ය ජනප්‍රියත්වය බැඳී ඇත.
මෙම ගීතයේ ගීත රචකයා වන අරිවු, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ සංක්‍රමණික හා ඉඩම් නොමැතිව ලංකාවේ රැඳී සිටි වතු කම්කරුවන් ලෙස තම මුතුන් මිත්තන් සූරාකෑම සහ හිංසනය පිළිබඳ මෙම ගීතයෙන් දිගින් දිගටම කියා සිටින්නේය.

එක් සම්මුඛ සාකච්ඡාවක දී අරිවු පැහැදිලි කළ පරිදි, “මෙය මගේ ගීතය නොවේ, මෙය ඇයගේ හෝ ‘ඔහුගේ ආච්චිගේ’ ගීතයයි. මට මෙම පද කිසිවක් අයිති නැත. මම පෑන සහ කඩදාසි වූවා පමණයි. ”
ගීතයේ පද රචකයා වන අරිවුට නිර්මාණ දායකත්වය සැපයුනේ, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය තුළ ද, “නිදහසෙන් පසු” ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අද ද පවත්වා ගෙන යන ධනේශ්වර පාලනය යටතේ ද, සංක්‍රමික හා ඉඩම් අහිමි ශ්‍රමිකයන් ලෙස ඔහුගේ මුතුන් මිත්තන් මුහුණ දුන් සූරාකෑම හා මර්දනය පිළිබඳව ඔහුගේ මිත්තනිය කියූ කථා වලිනි.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය සමයේ, 19 වන සියවසේ මැද භාගයේ දී, එවකට ඉහළ ලාභ ලැබූ කෝපි වගාවල වැඩ කිරීමට, ප්‍රධාන කොටම ස්ත්‍රීන් හා දිළිඳු ශ්‍රමිකයන්ගෙන් සමන්විත දසදහස් ගණන් දෙනා දකුණු ඉන්දියාවේ සිට එවකට සිලෝන් ලෙස හඳුන්වන ලද ලංකාවට ගෙන එන ලදී. කර්කශ සේවා කොන්දේසි ද, වනාන්තර හෙළිපෙහෙළි කිරීමෙන් අලු‍තින් සකස් කර ගත් වගාබිම්වල පැතිරී ගිය මරණීය නිවර්තන කලාපීය රෝගාබාධයන් ද හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නිරතුරුව පැවැති ශ්‍රමිකයන්ගේ හිඟය පියැවීමට දමිළ ශ්‍රමිකයන් යොදා ගැනිණ. එවැනි දහස් සංඛ්‍යාත පිරිස තුළ අරිවුගේ මුතුන්මිත්තෝ ද වූහ.
කොළ රෝගය හා කොටස් වෙළඳපොළ බිඳ වැටීම මත 1870 ගණන්වල දී ලංකාවේ කෝපි වගාව විනාශ වූ විට, බ්‍රිතාන්‍ය යටත්විජිතවල ඊට ද වඩා ලාභදායී අපනයන භෝගයක් වූ නව “කළු රත්රන්” හෙවත් – තේ වගාව මඟින් – එය විස්ථාපනය කරන ලදී.

කාර්මික වශයෙන් පසුගාමී අනෙකුත් සියලු‍ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද කල් පසු වූ ධනේශ්වර වර්ධනය කේන්ද්‍රීය දේශපාලන ප්‍රති විරෝධයන් මතු කළේය. එක් අතකින් එය කම්කරු පන්තියේ, විශේෂයෙන්ම වතු වැවිලි අංශයේ කම්කරු පන්තියේ, දැවැන්ත වර්ධනයක් නිර්මාණය කළේය. අනෙක් අතට එය ස්වදේශීය ධනේශ්වරයේ දේශපාලන දුර්වලත්වය හා බංකොලොත්භාවය ඉස්මතු කොට දැක්වීය.
1948 දී ශ්‍රී ලංකාවේ “නිදහස්” රජයේ මුල්ම පියවර වලින් එකක් වූයේ දශ ලක්ෂයක් දමිළ වතු වැවිලි කම්කරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පුරවැසි අයිතීන් අහිමි කිරීමයි.
1964 දී ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට ඇතුල් වී මාස හතර හමාරක් ඇවෑමෙන්, ඉන්දියාව සමඟ පැවැති සය දින සාකච්ඡාවකින් ඉක්බිතිව, කොළඹ (ආණ්ඩුව) සිරිමා – ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තැබීය. මෙම එකඟතා ගිවිසුම යටතේ 525,000 ක් වතු වැවිලි කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් ඉන්දියාව කරා පිටුවහල් කෙරිණි..

ගීතයේ සඳහන් වන හා වීඩියෝවේ අවසානයේ සිල්ක් සාරියකින් සැරසී පෞද්ගලිකවම පෙනී සිටින අරිවුගේ මිත්තනිය, වල්ලිඅම්මා, මෙසේ රටක් නොමැත්තන් ලෙස නැව්වලට පටවා – පිළිසරණකින් තොර, බිම් අඟලකට හෝ අහිමි කම්කරුවන්ගෙන් සමන්විත නැව් බඩු තොගයක් සේ – පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට යවන ලද දහස් ගණනක් කම්කරුවන් අතර සිටියාය.

මෙම ගීත රචක අරිවු මෑතක දී සඳහන් කළ පරිදි, “මගේ මිත්තනියට ඇගේ සහෝදරියන්ගෙන් සමු ගන්නට පවා නොලැබුණි. ඔවුන් ජීවතුන් අතර සිටිත්දැයි අපි අද වන තුරුත් නොදන්නෙමු.”
.අරිවුගේ මිත්තනිය සුරතලයට ඔහු අමතන්නේ එන්ජාමි ලෙසය. එම දමිළ වචනයේ අර්ථය වන්නේ “මගේ දයාබරය” නැතහොත්, “මගේ ස්වාමීනි” යන්නයි. ගීතයට එහි නම ලැබී ඇත්තේ එපරිද්දෙනි. ගීතය තුළ එන්ජෝයි එන්ජාමි යන්න යළියළිත් කියැවෙන්නේ, ඒ හා සමඟම ඉනික්බිතිව පොප් ගීතවල පොදුවේ භාවිත වෙන සංගීත ව්‍යුහයකින් ගායන වෘන්දය විසින් ගැයෙන “එකාවන්ව එක් වෙමු” යන පදය සහිතවය.
සිය තාර ස්වරයෙන් යුත් කටහඬ නිසා පුලු‍ල් ප්‍රසිද්ධියකට පත් වී ඇති පසුබිම් ගායිකා ධීක්ෂිතා වෙන්කටේෂන් නොහොත් ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ධී 1998 දී ලාංකික දමිළ මව්පිය යුවලකට දාව ශ්‍රී ලංකාවේ දී උපත ලබන්නේ දශක තුනක්ම පාහේ පුරා රට තුළ පැවැති සිවිල් යුද්ධය මධ්‍යයේ ය. යුද්ධය හේතුවෙන් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට සංක්‍රමනය වූ වඩාත් තරුණ දමිළ ජනයාගේ පරම්පරාවට ඇය ද අයත්ය. ඇත්තෙන්ම, “එන්ජෝයි එන්ජාමි” සකසා ස්වර රචනා කරන ලද්දේ ඇගේ සුලු‍ පියා විසිනි.
ධීක්ෂිතා වෙන්කටේෂන් කිවුවට නම් ගොඩක් අයට එයාව අදුරගන්න අමාරුයි. ඒත් ධී කිවූ සැණින් ජනප්‍රිය ගායිකාවක් ලෙස. අපිට එයාව අදුරගන්න පුලු‍වණි.1998 වසරේ ජුනි 27 වැනිදා යාපනය නගරයේ උපත ලැබුවාය. කර්නාටික් ගායිකාවක් වුණ මීනාක්ෂි ධී ගේ අම්මා වන්නීය. මීනාක්ෂි හා වෙන්කටේෂන් ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ද කාලයක් ගියාට පසු මීනාක්ෂි හා වෙන්කටේෂන් එකිනෙකාගෙන් වෙන් වෙති. ඊට පසු මීනාක්ෂි ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුණ සන්තෝෂ් නාරායනන් සමග විවාහ වේ. සංගීත පසුබිමේ හැදුන වැඩුණ ධී කුඩා කාලයේ සිටම ගායන දක්ෂතා දැක්වූවාය.

‘ධී’ ට අවුරුදු 13 , 14 ලබද්දීම චිත්‍රපට වල ගීත ගායනා කිරීමට අවස්ථාව සැලසෙන අතර 2012 දී සංගීත ක්ෂේත්‍රයට පැමිණියාය.2013 දී වාර්තා තබමින් තිරගත වූ බිල්ලා දමිළ චිත්‍රපටයේ පසුබිම් ගීතයක් ගායානා කළද පසුව කාලයක් ක්ෂේත්‍රයෙන් ඉවත්වූ ඇය නැවතත් දකුණු ඉන්දීය චිත්‍රපට පසුබිම් ගීත ගායනයට පැමිණියාය.

මෑතකදී යූ ටියුබය තුළ ප්‍රේක්ෂකයන් බිලියනයේ සීමාව පසු කළ එකම දකුණු ඉන්දියානු ගීතය වන රව්ඩි බේබි (ROWDY BABY) දමිළ ගීතයේ ආනන්දි (සායි පල්ලවී) හට හඩ මුසු කරන්නේද ධී විසිනි.
එසේම ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක ආකර්ෂණය දිනා ගත් ENJOY ENJAMI ගීතයත්, කලින් සඳහන් කළ ROWDY BABY ගීතයත් ධී ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වා දීමට පුලු‍වන්.
දකුණු ඉන්දියානු සිනමාවේ සුවිශේෂ හඬක් ඇති සුවිශේෂී ගායිකාවක් ලෙස අපගේ හදවත්වල ධී ලැගුම් ගෙන සිටින්නීය.

වෙනත් සම්මුඛ පරීක්ෂණයක දී අරිවු මෙසේ පැහැදිලි කළේය: “මා මෙහි සිටින්නේ සියලු‍ දෙනාට සුවපහසුව සලසා සනසා ලීමට නොව සියල්ලන් කලඹවා ලීමටය. .. මට හෙට පිළිබඳව කථා කිරීමට අවශ්‍යය. නිසැකවම හොඳ අනාගතයක් එලැඹෙනු ඇත. නිසැකවම සමානාත්මතාවයේ සමාජයක් බිහි වනු ඇත.
අරිවුගේ සුබවාදය දිරි ගන්වන සුලු‍ය.. 20 වැනි සියවසේ ඓතිහාසික අත්දැකීම් යළියළිත් සනාථ කරන්නේ, පෙරළා සොබාදහමේ සංරක්ෂණය සහතික කරන, සමාජ සමානාත්මතාවය මත පදනම් වූ සමාජයක් ගොඩනැඟිම ගැන “එන්ජෝයි එන්ජාමි” ගීතය අපට කියා දෙන පණිවිඩයකි. එසේම එය සමාජ සංවේදී බව හා බැරෑරුම් කම කලාකරුවන්ට කල්යල් බලා කියා දෙන්නකි.

වර්ල්ඩ් සෝෂලිස්ට් වෙබ් අඩවියට “Enjoy Enjaami”—A song about the aspirations of a tea plantation worker යන මැයෙන් ඩැනියෙල් වොරෙක් ලියු ලිපියක් ඇසුරෙනි…

සටහන
තිළිණි ද සිල්වා

 696 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here